Monday, April 6, 2015

කොළඹ අහසම ගොරවනව.වැස්ස තුරල් වෙන පාටක් නෑ.ගොඩක් කාලයක් හිතේ හිරකරගෙන හිටිය දුක් කන්දරාව එක පාරටම අඬල ඉවරකරන්න වගෙයි අහස හදන්නේ.මගේ හිතත් අඬනව වැස්සත් එක්ක හරි හරියට.පුදුමයි ! මිනිස්කම ගැන,සොබාදහම ගැන,ආගම ගැන කවි ලිය ලිය හිටපු මම දැන් වැලපෙන්න පටන් අරන් මහ බොළඳ විදිහට.හිත මට කීකරු නෑ.හීලෑ කරගන්න හරිම අමාරුයි.දුක කියන දේ හිතට ගුණදායක ඇති.ඒක වෙන්නැති මෙච්චර දුකටම හිත මනාප.වේදනාව අරක්කු,සිගරට් වලින් දුරුකරගන්න හදන එක මෝඩ වැඩක්.ඉක්මනට ඒ ගැන තීරණයක් ගත යුතු යි.
අහස ගොරවනව.ඉඳ හිටල ලයිට් පාරකුත් වැටෙනව කාමරයට හෙණ හඬත් එක්ක.පපුව හෝස් ගාලා යනව.ජනේලයෙන් එන සීතල හුළං පාර නිරුවත් පපුවේ රෝම කූප කෝප ගන්වනවා.හීන් හිරිකඩක් ජනේලයෙන් ඇඟට පැන් ඉහිනවා.සීතල තවත් වැඩියි එතකොට.ජනේලය වහන්න ලෝබයි.පොඩි කාලේ ඉඳන් තිබුන පුරුද්ද වැස්සේ වතුර වහලෙන් බිමට වැටීම නැරඹීම නැතිවෙයි කියල.ජනෙල් පියන් අතරින් ආව සිහින් ජල බිඳිති ඇඟ පුරාම මගේ දුකත් හවුලේ බෙදාගන්න එකට වෙලිලා.නින්ද අහලකවත් නෑ.මතක් වෙනව ඔය ඇස් දෙක,හිනාව,කෙහෙරැල්.හිතේ සේව් වෙලා ප්‍රොෆයිල් පික්චර් එක නොමැකෙන්න ම.
උඹ දැන් මොනව කරනව ඇත් ද ?සමහර විට පාඩම් කරනව ඇති.නැත්නම් නිදි ඇති.ඒත් නැත්නම් පවුලේ අයත් එක්ක හිනාවෙවී කතාකර කර ඇති.මං ගැන වගේ වගක් නැතිව ඇති.
ඒකපාර්ශවික ප්‍රේමයක කොහෙද සැනසිල්ලක්,වදවීමක් මිස.මොනව උනත් ඔය හිතට තාමත් මම ආදරෙයි.ඒ හින්දයි මම උඹෙන් ඈත්වෙන්නේ.ඒ උඹ ලඟ දී මට දුක වැඩි හින්දම නෙවෙයි,ලඟින් ඉන්න බයයි මට.උඹ එතකොට මේ ඉන්නවටත් වැඩිය ඈත්වෙයි කියල.

උඹට ආදරෙයි බං මං..

-රෝ-